වෙරිටේ මාධ්‍ය හා දේශපාලන අංශයෙන් කාන්තාවන් පිළිබඳ ආචාරධාර්මික වාර්තාකරණය සඳහා යෝජනාවක්
ජනමාධ්‍ය මාර්ගෝපදේශ වැඩිදියුණු කිරීම සඳහා වන නිර්දේශ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරිය වෙත පිළිගැන්වෙයි
වෙරිටේ මාධ්‍ය හා දේශපාලන අංශය විසින්, එහි එතික්ස් අයි (Ethics Eye) පර්යනතය හරහා, කාන්තාවන් සහ ගැහැණු දරුවන් පිළිබඳ ආචාරධාර්මික වාර්තාකරණයට අදාළ ජාතික මාධ්‍ය මාර්ගෝපදේශයක් යෝජනා කරන ලදි. මෙම නිර්දේශ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න වෙත පසුගිය අඟහරුවාදා දින භාර දෙන ලදි.
රජයේ මාධ්‍ය ආචාරධර්ම ප්‍රතිසංස්කරණය කිරීමේ අභිමතය සහ ජාත්‍යන්තර හොඳම භාවිතයන් හා සමගාමීව කටයුතු කිරීම සඳහා, මෙම කෙටි සටහන ක්ෂණික ක්‍රියාමාර්ග දෙකක් නිර්දේශ කරයි
• නව මාර්ගෝපදේශ: අපරාධයකට ගොදුරුවූවන්/මුහුණ දුන්නවුන් කේන්ද්‍ර කරගත් ජාතික මාධ්‍ය මාර්ගෝපදේශයක් කෙටුම්පත් කර සම්මත කිරීම සහ එය භාවිතයට ගැනීමට ප්‍රධාන ධාරාවේ මෙන්ම ඩිජිටල් මාධ්‍ය ආයතන ද දිරිගැන්වීම.
• ජාතික පුහුණුව: මාර්ගෝපදේශ පිළිබඳ පුහුණුවීම් ලබා දීමටත්, ධාරිතාව ගොඩනැගීමටත් සහය වීම සඳහා 2026 අයවැය තුළ ප්‍රතිපාදන වෙන් කිරීම.
කාන්තාවන් සහ ගැහැණු දරුවන් සම්බන්ධයෙන් ආචාරධාර්මික මාධ්‍ය ප්රමිතීන් ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් වෙරිටේ මාධ්‍ය හා දේශපාලන අංශය විසින්, ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන ප්‍රංශ තානාපති කාර්යාලය සමඟ එක්ව මෙම යෝජනාව සකස් කරන ලදි. වෙරිටේ මාධ්‍ය හා දේශපාලන අංශයේ ප්‍රධානී දීපාංජලී අබේවර්දන, එහි කණ්ඩායම් නායිකා මහෝෂදි පීරිස් සහ වැඩසටහහන් නායක රොෂෙල් කනගසබේ විසින් නොවැම්බර් 4 වැනි දින මෙම යෝජනාව නියෝජ්‍ය අමාත්‍යවරිය වෙත භාර දීම සිදු කරන ලදි.
මෙම ප්රයත්නය සඳහා පදනම වී ඇත්තේ එතික්ස් අයි පර්යනත්යේ දිගුකාලීන දායකත්වයයි. එතික්ස් අයි පර්යන්තය දශකයකට ආසන්න කාලයක් මුළුල්ලේ සිංහල භාෂා මාධ්‍ය නිරීක්ෂණය කර ඇති අතර, ප්රචණ්ඩත්වය සාමාන්‍යකරණය කරමින්, හානිකර ඒකාකෘති තහවුරු කරමින්, අපරාධයන්ට/ප්‍රචණ්ඩත්වයට මුහුණ දුන පිරිස් හට යුක්තිය ලැබීම් අධෛර්යමත් කරමින් දිගින් දිගටම දක්නට ලැබෙන ගැටලුකාරී වාර්තාකරණයන් ලේඛනගත කර ඇත.
වෙරිටේ රිසර්ච් යනු, ශ්‍රී ලංකාව තුළ සහ ඉන් ඔබ්බෙහි රජයන්, ජාත්‍යන්තර සංවිධාන සහ පෞද්ගලික අංශය සඳහා උපායමාර්ගික විශ්ලේෂණ සහ උපදෙස් සපයන , ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ස්වාධීන, අන්තර් විනය චින්තන පර්ෂදයයි.


0 Comments