ඔබ තෝරා ගන්නේ කුමක්ද?
එකම දිනක පළ වූ ප්රවෘත්ති දෙකක් විමසා බලමු.
දිනමිණ පුවත්පත: “පෙම්වතා සමඟ කල්පිටිය හොටලයේ සාදයකට එක්වූ සුදු නෝනාට අතවර කරලා”
අරුණ පුවත්පත: “ස්පාඤ්ඤ තරුණියට අතවර කරන්න හැදූ 3ක් මාට්ටු”
අපරාධයට මුහුණ දුන් පුද්ගලයා “සුදු නෝනා” යනුවෙන් හැඳින්වූ විට, ප්‍රවෘත්තියේ සම්පූර්ණ අවධානය අපරාධයෙන් ඉවතට හැරී, අපරාධයට මුහුණ දුන් පුද්ගලයාගේ අනන්‍යතාවය වටා ගොඩනැගීමට ඇති හැකියාව වැඩිය.
ලිංගික අපරාධයක් වාර්තා කිරීමේදී අපරාධයට මුහුණ දුන් පුද්ගලයා කෙරෙහි වඩාත් සංවේදී වීම වැදගත් වන්නේ ඇයි?
මාධ්‍ය වාර්තාකරණය තුල අපරාධයට මුහුණ දුන් පුද්ගලයා සම්බන්ධ අනවශ්‍ය තොරතුරු ඉස්මතු කළ විට, එම පුද්ගලයා මුහුණ දෙන කම්පනය තවත් තීව්ර වීමට ඉන් බලපෑමක් විය හැක.
ලිංගික අපරාධයට මුහුණ දුන් පුද්ගලයා ගෞරවයෙන් සලකන, ඔවුන්ගේ අනන්‍යතාවය ආරක්ෂා කරන වාර්තා දුටු විට, තමන්ටත් යුක්තිය ඉටු කරගත හැකි බවට එවැනි අපරාධ වලට මුහුණ දුන් අන් අය තුළ විශ්වාසයක් ගොඩනැගිය හැක. එවැනි අපරාධවලට ලක් වු බොහෝ දෙනෙක් සමාජ අපවාදයට හා අනිසි මාධ්‍ය අවධානයට ලක්වීමට ඇති බිය නිසා සිදුවූ අපරාධය සඟවාගෙන නිහඬව සිටීමට තීරණය කරති.
ආචාර ධාර්මික මාධ්‍ය වාර්තාකරණයක් වෙනුවෙන් පෙළ ගැසෙමු!


0 Comments