පාසල් සිසුන්ගේ අනන්‍යතාවය හෙළි නොකරමු!
දරුවන් සම්බන්ධව වාර්තා කිරීමේදී මාධ්‍ය හැසිරිය යුතු ආකාරය සම්බන්ධව, දේශීය මාධ්‍ය මාර්ගෝපදේශයන් මෙන්ම ජාත්‍යන්තර මාධ්‍ය මාර්ගෝපදේශයන් ද තොරතුරු දක්වා තිබේ. එහිදී විශේෂයෙන්ම සැළකිල්ලට ගත යුතු කරුණක් වන්නේ, දරුවන්ගේ අනන්‍යතාවය හෙළි නොකිරීමයි.
ශ්‍රී ලංකා ළමාරක්ෂක අධිකාරිය මගින් ළමා අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීම සඳහා මාධ්‍යවේදීන්ට ඉදිරිපත් කර ඇති මාර්ගෝපදේශය තුළද පැහැදිලිවම දක්වා ඇත්තේ, දරුවෙකුගේ අනන්‍යතාව හෙළි කිරීම ඔස්සේ දරුවාට හානි පැමිණිය හැකිද, දරුවාගේ පාසල් අධ්‍යාපනයට බාධා විය හැකිද යන කරුණු පිළිබඳව මාධ්‍යවේදීන් සැළකිලිමත් විය යුතු බවයි.
මෙය මහජන බැඳියාවට අයත් වන කරුණක දී හෝ අනන්‍යතාවය හෙළි කිරීම සඳහා භාරකරුගේ අවසරය ඇති මොහොතක දී පවා අදාළ වේ.
එම පසුතලය යටතේ, ගම්පොළ ප්‍රදේශයේ පාසලක ගුරුවරයෙකු විසින් දහය වසරේ සිසුවියකට පහර දීමෙන් අනතුරව ඇයව රෝහල් ගත කිරීමේ පුවත, සිංහල භාෂා පුවත්පත් තුළ වාර්තා වී තිබූ ආකාරය විමසා බලමු .
මෙහිදී රෝහල් ගතකොට ඇති සිසුවියගේ ඡායාරූපයක් අරුණ, දිනමිණ සහ දිවයින යන පුවත්පත් සියල්ලේම පළ වී තිබුණත්, දරුවන්ගේ අනන්‍යතාවය හෙළි නොවන පරිද්දෙන්, ඇයගේ මුහුණ ආවරණය කර එම ඡායාරූපය පළකර තිබුණේ අරුණ පුවත් වාර්තාව පමණි.
දරුවන්ගේ පෞද්ගලිකත්වය සම්බන්ධ අයිතිය උල්ලංඝනය නොකරමු, මාධ්‍ය වාර්තාකරණයන් තුළ පවා දරුවන් රැක ගනිමු!
මෙය Sri Lanka Barometer සමඟ සහයෝගීතාවයෙන් පළ කර ඇත.


0 Comments