කාන්තාව ඒකාතික කිරීමක්?
ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගත් ඒකාකෘතික කිරීම් ත Ethics Eye විසින් නිතර මතුකරන ගැටලුවකි.
ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පළමුවරට දිස්ත්‍රික්කයක් භාර නියෝජ්‍ය පොලිස්පතිවරියක් ලෙසින් පද්මිණි වීරසූරිය පත් කිරීම සම්බන්ධයෙන් ලියැවුනු සති අග අරුණ (ජූනි. 29, 2025) තුළ, පහත දැක්වෙන අදහස් දක්නට ලැබිණි.
*”කාන්තාවන් කියන්නේ පිරිමියකුගේ කෙස් ගහක වෙනසත් හඳුනාගැනීමේ අපූරු හැකියාවැති ජීවි කොට්ඨාසයකි. අපේ කතුන් ඒ අතින් ඉන්නේ පෙරමුණේය. ලෝ ප්‍රකට ෂර්ලොක් හෝම්ස් කතා මාලාවේ රහස් පරීක්ෂක හෝම්ස්ටත් අපේ ඇත්තියන් සමග හැරෙන්නට බැරිය. කතුන්ගේ මේ සහජ දක්ෂතාවට සැබෑ වටිනාකම දී ඇත්තේ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියය. ඒ වටිනාකමට සරිලන්නට පසුගිය කාලයේ මෙරට කාන්තා පොලිස් නිලධාරිනියන් කිහිප දෙනෙකුටම භාරදූර වගකීම් රැසක් පැවරුණේය.”
*”වසර එකසිය හැටකට ආසන්න මෙරට පොලිස් ඉතිහාස පොතේ අලුත් පිටුවක් හෙට (30වැනිදා) ලියැවෙන්නට නියමිතය. ඒ මෙරට පළමු වැනි වරට වළලු දැමූ අතකට දිස්ත්‍රික්කයක ආරක්ෂාව භාරදීමෙනි. මේ අලුත් පිටුවේ ඉහළින්ම ලියැවෙන්නේ නියෝජ්‍ය පොලිස්පතිනි පද්මිණි වීරසූරියගේ නමය. දැන් පොලිසියට යන අයට ‘නියෝජ්‍ය පොලිස්පතිතුමා ඉන්නවාද කියා පමණක් නොව ‘නියෝජ්‍ය පොලිස්පතිතුමිය ඉන්නවාද කියාද විමසන්නට පුළුවන.”
ඉහත පත්වීම ධනාත්මක ආකරයකින් ඉදිරිපත් කිරීමට අදහස් කර ලියැවී තිබුණත්, ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කර ගනිමින් කාන්තාව ඒකාකෘතික කරනා අදහස්ද ඒ සමගින් ලියැවී තිබීමම ගැටලුකාරී නොවන්නේද?


0 Comments