එක් පුවතක්, පුවත්පත් දෙකක්, ගැටලු දෙකක්
1. සිදුවීම කෙටියෙන්
බම්බලපිටිය ප්‍රදේශයේ, දෘශ්‍යාබාධ සහිත පුද්ගලයින් විසින් පවත්වාගෙන යනු ලබන සම්බාහන මධ්‍යස්ථානයක් තුළදී, ඕස්ට්‍රේලියානු ජාතික කාන්තාවකට ලිංගික අතවර කළ බවට චෝදනා ලැබූ සැකකරුවෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර ඇත.
2. වාර්තාකරණයේ ගැටලු
අ) වාර්තා දෙකටම පොදු ගැටලුව: සිරස්තලය තුළ පුද්ගලයාට මූලිකත්වය දෙන භාෂාව (Person-First Language) භාවිත නොකිරීම.
ආබාධයක් වාර්තා කිරීමේදී, අදාළ පුද්ගලයාගේ ආබාධය එම පුද්ගලයාගේ සම්පූර්ණ අනන්‍යතාවය කර නොගත යුතුය.
සිදුවී ඇති දේ:
අරුණ පුවත්පත: “දෘශ්යාබාධිතයකුට”
දිනමිණ පුවත්පත: “දෘශ්‍යාබාධිත සැකකරුට”
හානිය (Harm): මෙමගින් අදාළ පුද්ගලයාගේ ආබාධිත තත්ත්වය සිරස්තලය ඔස්සේ ඉස්මතු කිරීම හරහා, අපරාධය සහ ආබාධය අතර සබඳතාවක් දක්වා, සමස්ත දෘශ්‍යාබාධ සහිත ප්‍රජාවම සමාජය ඉදිරියේ අනවශ්‍ය සැකයකට සහ අපකීර්තියට (Stigma) ලක් නොවන්නේද?
ආ) එක් පුවත්පතකට ආවේණික ගැටලුව: වාර්තාකරණයේදී සිදුවීමට මුහුණ දුන් පුද්ගලයා “සුදු කත” ලෙස හැඳින්වීම.
සිදුවී ඇති දේ:
ලිපි දෙකෙහිම අන්තර්ගතයේ මෙම කාන්තාව “විදේශ ජාතික කාන්තාවක” හෝ “ඕස්ට්‍රේලියානු කතක” ලෙස ඉතා නිවැරදිව හා මධ්‍යස්ථව හඳුන්වා දී ඇත. නමුත්දිනමිණ පුවත්පතේ සිරස්තලයේ පමණක් ඇය “සුදු කත” ලෙස හඳුන්වා දී ඇත.
හානිය (Harm): සිදුවීමට මුහුණ දුන් පුද්ගලයාගේ සමේ වර්ණය (සුදු) සිරස්තලයට යොදා ගැනීම මගින්, “දේශීය කාන්තාවකට අතවරයක් වීම සාමාන්‍ය දෙයක් වුවත්, සුදු ජාතික කාන්තාවකට අතවරයක් වීම අති විශේෂ සිදුවීමක්” වැනි ආකල්පයක් සමාජගත විය නොහැකිද?
3. නිවැරදි වාර්තාකරණය
ඉහත ගැටලු මඟහරවා ගනිමින් මෙම පුවත පහත පරිදි වාර්තා කළ නොහැකිද?
යෝජිත සිරස්තලය: “ලිංගික අතවර චෝදනා ලැබූ සම්බාහන මධ්‍යස්ථාන සේවකයකුට ඇප”
(මෙහිදී සිදුවීමට මුහුණ පෑ කෙනාගේ ජාතිය හෝ සැකකරු ආබාධ සහිත වීම නොව, නීතිමය ක්‍රියාවලිය මූලික වේ).
අන්තර්ගතය තුළ: “දෘශ්‍යාබාධ සහිත පුද්ගලයින් (Persons with visual impairment) විසින් පවත්වාගෙන යන ආයතනයක්” ලෙස ගෞරවනීය භාෂාවක් භාවිත කිරීම සහ ඔස්ට්‍රේලියානු ජාතිකත්වය අවශ්‍ය තැනදී පමණක් මධ්‍යස්ථව සඳහන් කිරීම.
වගකීම් සහගත වාර්තාකරණයක නියැලෙමු!


0 Comments