පුවත් 3ක්. ගැටලු කිහිපයක්.
සිදුවීම් 3 කෙටියෙන්:
1. ලංකාදීප (2026 පෙබරවාරි 17) – හෝමාගම ප්‍රදේශයේ පාසල් සිසුවියක් දිවි තොර කර ගැනීම සම්බන්ධව.
2. අරුණ (2026 පෙබරවාරි 18) – හලාවත ප්‍රදේශයේ අඹු-සැමි යුවලක් දිවි තොර කර ගැනීම සම්බන්ධව.
3. දිවයින (2026 පෙබරවාරි 18) – බුත්තල ප්‍රදේශයේ තරුණයෙක් දිවි තොර කරගැනීම සහ ඔහුගේ බිරිඳ දිවි තොර කරගැනීමට තැත් කිරීම සම්බන්ධව.
මෙම පුවත්පත් වාර්තා වල නිරීක්ෂණය වූ ගැටලු :
* අරුණ වාර්තාවේ හැර, අනෙක් වාර්තා දෙකම දිවි තොර කරගත් හෝ දිවි තොර කරගැනීමට තැත් කළ ආකාරය විස්තර කර ඇත.
මෙවැනි විස්තර වාර්තා කිරීම අනුකාරක දිවි තොර කරගැනීම් (copycat suicides) සඳහා අනුබල දීමක් විය හැක.
* වාර්තා තුනෙහිම දිවි තොර කරගැනීමට බලපෑ හේතුව සරල කර ඇත.
දිවි තොර කර ගැනීමක් යනු සංකීර්ණ හේතු සමුදායක් ප්රතිඵලයකි. එවන් අවස්ථාවක දිවි තොර කරගිමක් “පියා ගවයන් විකිණීම නිසා සිත් තැවුලට පත්වීම”, “බිරිඳ දිවි තොර කර ගැනීම නිසා දුකට පත්වීම” වැනි තනි හේතුවකට ලඝු කිරීම (simplifying) ගැටලුකාරී විය හැක.
* වාර්තා තුනෙහිම සිරස්තල සංවේදීකරණය කර ඇත.
මෙමගින් පුවතට අනවශ්‍ය ප්‍රසිද්ධියක් සහ පාඨක අවධානක් ලබා දිය හැක. දිවි තොර කරගත් හෝ දිවි තොර කර ගැනීමට තැත් කළ තැනැත්තා මෙන්ම ඔහුගේ සමීපතමයන්ගේ පුද්ගලිකත්වය සහ ගරුත්වයට හානි නොවන පරිදී පුවත වාර්තා කිරීම වඩාත් උචිත වේ.
* වාර්තා තුනෙහිම උපකාරක අංක සඳහන් කර නැත.
මෙවැනි පුවත් වාර්තා කිරීමේදී පවතින ප්‍රධානතම සමාජීය වගකීමක් වන්නේ මානසික පීඩනයෙන් පෙළෙන අයෙකුට සහාය ලබාගත හැකි උපකාරක සේවා (helplines) පිළිබඳ තොරතුරු සැපයීමයි. ඒ තුලින් ජීවිතයක් අනතුරේ වැටීම වළකා ගැනීමට හැකි වනු ඇත.
දිවි තොර කරගැනීම් පිළිබඳ පුවත් වාර්තාකරණයේදී වඩාත් වගකීම් සහගත වෙමු!
හදිසි උපකාරක අංක:
* CCCline – 1333
* ශ්‍රී ලංකා සුමිත්‍රයෝ – 0707308308
* ශාන්ති මාර්ගම් – 0717639898
* ජාතික මානසික සෞඛ්‍ය ආයතනය-1926 (දුරකථන ඇමතුම් හෝ කෙටි පණිවුඩ මාර්ගයෙන් සම්බන්ධ කරගත හැක)


0 Comments