සියදිවි හානි කරගැනීම් වගකීම් සහගතව වාර්තා කරමු!
2025.09.19 දින ‘අද දෙරණ’ Facebook පිටුවෙන් ලබාගත් දර්ශන ඇසුරෙනි.
සිදුවීම : උඩුදුම්බර ගම්මානයේ පදිංචි තිදරු මවක්, ලියුකේමියා රෝගයෙන් තම සැමියා මියගිය පසු තම දරුවන්ගේ දිවි තොර කිරීමට තැත්කරමින්, තම දිවිය තොර කරගත් සිදුවීම.
මෙම සිදුවීම වාර්තා කිරීමේදී මනෝ වෛද්‍ය උපදේශනය සහ උපකාරක අංක පිළිබදව සදහන් කිරීම අගය කළ යුතුය.දිවි තොර කර ගැනීම් වාර්තා කිරීමේදී, එම වාර්තාවන් ඔස්සේ අනුකාරක සිදුවීම් ඇතිවීම වැළැක්වීම සඳහා එවැනි උපකාරක අංක පළ කිරීම ඉතා වැදගත් වේ.
එලෙසින්ම, දිවි තොර කර ගැනීම් සම්බන්ධයෙන් වාර්තා කිරීමේදී ද වඩාත් ඉහළ ප්‍රවේසම්කාරී බවක් සහ මාධ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගත වීමක් අත්‍යවශ්‍ය වේ. මන්ද යත්, දිවි තොර කරගැනීමට යම් පෙළඹවීමක් ඇති අයෙකු හට එවැනි දෙයක් සිදු කර ගැනීමට මාධ්‍ය වාර්තාකරණය උත්ප්‍රේරණයක් විය හැකි බැවිනි.
ඒ අනුව, පහත වාර්තාකරණයේ ඇති ගැටලුකාරී තැන් කිහිපයක් හඳුනා ගත හැක.
දිවි තොර කර ගත් අයගේ ඡායාරූප පළ කිරීම: මේ නිසා ඔවුන්ගේ ගෞරවයට එය හානිකර විය හැකි අතර,එමගින් පවුලේ සාමාජිකයන්ට දැඩි මානසික පීඩාවක් ඇති කල හැක.මියගිය අයගේ පවුලේ සාමාජිකයන්, මිතුරන් දැනටමත් දැඩි වේදනාවකින් සිටින බව තේරුම් ගත යුතුයි.
දරුවන් ගේ අදහස් විමසීම: මෙම පුවතට අනුව මියගිය කාන්තාවගේ දරුවන්ගෙන් යළි යළිත් සිය මව දිවි තොර කරගත් ආකාරය පිළිබඳව විමසීම මඟින් ඔවුන්ගේ දුක සහ වේදනාව තව තවත් තීව්‍ර වනු ඇත. මව සහ පියා දෙදෙනාම අහිමි වී සිටින ඔවුන් කෙරෙහි සහ කම්පනය සහිතව කටයුතු කිරීම වඩාත් අවශ්‍ය මොහොතක්, මේ මොහොත.
දිවි අහිමි කරගත් පුද්ගලයා හට දෝෂාරෝපණය කිරීම:
දිවි තොර කරගැනීම යනු බොහෝ සංකීර්ණ සාධකවල එකතුවක් මිස තනි හේතුවක් නොවේ. සෘජුව හෝ වක්‍රව දිවි තොරකරගත් අය හට දෝෂාරෝපණය කිරීමෙන් වැලකීම ඉතා වැදගත් වේ. මියගිය පුද්ගලයාට දොස් පැවරීම මඟින් සියදිවි නසාගැනීම ආත්මාර්ථකාමී හෝ බියගුලු ක්‍රියාවක් යන වැරදි සහගත අදහස සමාජගත විය හැක. එය උපකාර/උපදේශනය සඳහා යොමුවීමට සිටින අන් අයව අධෛර්යමත් කළ හැකිය.
වඩාත් වගකීම් සහගතව දිවි තොර කර ගැනීම ගැන වාර්තා කරමු!
උපකාරක අංක සඳහන් කරමු, ජීවිතයක් රැක ගනිමු!
හදිසි උපකාරක අංක:

CCC line – 1333

ශ්‍රී ලංකා සුමිත්‍රයෝ – 0707308308

ශාන්ති මාර්ගම් – 0717639898

ජාතික මානසික සෞඛ්‍ය ආයතනය-1926 (දුරකථන ඇමතුම් හෝ කෙටි පණිවුඩ මාර්ගයෙන් සම්බන්ධ කරගත හැක)


0 Comments