සියදිවි හානිකරගැනීම් සංවේදීව වාර්තා කරමු
පසුගිය දින කිහිපයේ සිදුවූ සියදිවි හානිකරගැනීම් පිළිබඳ සිදුවීම් දෙකක් 2025.10.14 දින අරුණ සහ දිවයින පුවත්පත් වලද, 2025.10.15 දින දිනමිණ සහ දිවයින පුවත්පත්වලද වාර්තා වී ඇති අයුරු පහතින් දැක්වේ.
සියදිවි නසාගැනීම් වාර්තාකරණය ඉතාමත් සංවේදීව සහ සැලකිලිමත්ව කළ යුතුය. ඒ, එවැනි වාර්තාකරණයන් බොහෝ විට මානසික පීඩනයකින් පෙළෙන පුද්ගලයන්ට සහ සියදිවි හානි කරගත් පුද්ගලයින්ගේ සමීපතමයන්ට සෘජුවම බලපාන බැවිනි.
හානිය අවම කිරීම සහ අනුකරණය කිරීමේ හැසිරීම් (Copycat Behaviour) වැළැක්වීම සඳහා, සියදිවි නසාගැනීම් වාර්තාකරණයට අදාළව ආචාරධර්ම මාර්ගෝපදේශ පවතියි. ඒවායේ අරමුණ වන්නේ, එම සිද්ධියෙන් බලපෑමට ලක් වූ පුද්ගලයන්ගේ ගෞරවය හා පෞද්ගලිකත්වය ආරක්ෂා කර ගැනීමය.
එසේ තිබියදී, මෙම වාර්තාකරණයන් කිහිපයේදී එම මාර්ගෝපදේශ සැලකිල්ලට නොගෙන ඇති බව පෙනී යයි.
1. සියදිවි නසාගත් පුද්ගලයාගේ ඡායාරූප පෙන්වීම:
සියදිවි හානි කරගැනීම් වාර්තාකරණයේදී, එම සිද්ධියට සම්බන්ධ පුද්ගලයාගේ කිසිඳු ඡායාරූපයක් ප්‍රකාශයට පත් නොකළ යුතුය. ඒ එම පුද්ගලයාගේ සහ සමීපතමයන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කර ගනිමින්, ඔවුන්ට අමතර කම්පනයක් ඇති නොකිරීම සඳහාය. නමුත් මෙම එක් සිදුවීමක් වාර්තා කිරීමේදී 2025.10.15 දින පළ කෙරුණු දිණමිණ සහ දිවයින වාර්තාකරණයන් දෙකෙහිම එම ඡායාරූප පළ කර තිබිණ.
2. සියදිවි හානි කර ගැනීමේදී ලියා තැබූ සටහන් ප්‍රසිද්ධ කිරීම:
සියදිවි හානි කර ගැනීමේදී එම පුද්ගලයා විසින් ලියා තැබූ සටහන් හෝ ලිපි කිසිවක්, ප්‍රසිද්ධ මාධ්‍යයේ ප්‍රචාරය නොකළ යුතුය. මෙයද මියගිය පුද්ගලයාගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කර ගැනීම සඳහාය.
නමුත් 2025.10.15 දින දිනමිණ සහ දිවයින එම පුද්ගලයා විසින් ලියා තැබූ ලිපිය එලෙසම ප්‍රකාශයට පත් කර ඇත.
3. සියදිවි හානිකරගත් ක්‍රමය විස්තරාත්මකව පැහැදිලි කිරීම:
කිසිඳු විටකදී, සියදිවි නසාගැනීමක් වාර්තා කිරීමේදී, එය සිදුවූ ස්ථානය හෝ ක්‍රමය සවිස්තරාත්මකව ප්‍රකාශයට පත් කිරීම නොකළ යුත්තකි. ඒ, සියදිවි නසාගැනීමකට පෙළඹවීමක් ඇති පුද්ගලයෙකුට එය අනුකරණය කිරීමට ඇති අවස්ථාව වැඩි වන බැවිනි.
නමුත් මෙම වාර්තාවන් සියල්ලෙහිම සියදිවි නසාගැනීමේ ක්‍රමය සඳහන් කර ඇත.
4. උපකාරක අංක පළ නොකිරීම:
සියදිවි නසාගැනීමේ වාර්තාකරණයේදී උපකාරක අංක පළ කිරීම ඉතාමත් අත්‍යාවශ්‍ය අංගයකි. ඒ, කිසියම් හෝ ආකාරයකින් සියදිවි නසා ගැනීමේ පෙළඹවීමක් ඇති, මානසික පීඩනයකින් සිටින අයෙකුට එම උපකාරක අංක භාවිතයෙන් සහනයක් ලබා ගැනීමට හැකි වීම උදෙසාය.
නමුත් මෙම වාර්තාකරණයන් සියල්ලෙහිම උපකාරක අංක පළකර නොමැත.
මානසික සෞඛ්‍ය වෘත්තිකයන් සහ මාධ්‍ය ආචාරධර්ම පද්ධතිය විසින්, මෙම මාර්ගෝපදේශ ලබා දී තිබියදී, ඒවා පිළි නොපැදීම මඟින්, තවත් සියදිවි නසාගැනීම් සඳහා අනුබල දීමක් සිදු නොවේද?
සියදිවි නසාගැනීම් පිළිබඳ පුවත් වගකීම් සහගතව වාර්තා කරමු!


0 Comments