“හදි කළ අනංගයා?”
සිදුවීම කෙටියෙන්: පුත්තලමේ සිට එළුවන්කුලම දක්වා කුලී ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි විදෙස් ජාතික කාන්තාවකට, එම රථයේ රියදුරු විසින් අවස්ථා කිහිපයකදී ලිංගික අතවර කර ඇති බව.
ගැටලුව: මෙම පුවත 2026 ජනවාරි 26 දිනමිණ පුවත්පත වාර්තා කර තිබූ ආකාරය බලමු. එහි සිරස්තලය “ස්වීඩන් ජාතික තරුණියට හදි කළ අනංගයාට වැඩ වැරදී”.
මෙවැනි වාර්තාකරණයකින් සිදු වන හානිය:
1. “හදි කිරීම”: යමෙකුට විපතක් හෝ හානියක් කිරීම යන සාමාන්‍ය අර්ථය දෙන “හදි කිරීම” වැනි වචන හරහා ලිංගික අපරාධයක/හිරිහැරයක බරපතලකම නිසි ලෙස සන්නිවේදනය වේද? මෙවැනි අවස්ථාවක “ලිංගික අපයෝජනය” හෝ “ලිංගික අතවරය” වැනි යෙදුම් භාවිත කිරීම වඩාත් උචිත නොවේද?
2. සැකකරු “අනංගයා” ලෙස හැඳින්වීම: “අනංගයා” යනු ප්‍රේමය හෝ ශෘංගාරය සංකේතවත් කරන යෙදුමකි. ලිංගික අතවරයකට සම්බන්ධ සැකකරුවෙකු “අනංගයෙකු” ලෙස හැඳින්වීම හරහා එම අපරාධය ප්‍රේමාන්විත දෙයක් ලෙස හුවාදක්වමින් එය සැහැල්ලු කිරීමක් සිදු නොවනවාද?
නිවැරදි සහ විකල්ප සිරස්තලය:
“පුත්තලමේදී විදෙස් කාන්තාවකට ලිංගික හිරිහැර කළ සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට.”
මෙම සිරස්තලය මගින් සිදුවූ අපරාධය නිවැරදිව අර්ථ දක්වන අතර, කිසිදු පාර්ශවයකට අගෞරවයක් නොවන පරිදි පුවත වාර්තා කරයි.
ලිංගික හිරිහැර වාර්තා කිරීමේදී වගකීම් සහගත මාධ්‍ය වාර්තාකරණයක නිරත වෙමු!


0 Comments