Ethics Eye නිතර මතු කරන ගැටලුවක් වන්නේ ලිංගික අපරාධයක් හෝ ලිංගික අපයෝජනයක් සම්බන්ධයෙන් වාර්තා කිරීමේදී, බොහෝවිට සිරස්තල තුළ ඒ සම්බන්ධයෙන් හැඳින්වීමට යොදා ගන්නා භාෂා භාවිතය අනුව, ලිංගික අපරාධයක් හෝ ලිංගික අපයෝජනයක් සැහැල්ලු කොට නොදැක්වෙන්නේද යන්නයි.
පුවතක් සන්නිවේදනය කිරීමේ දී එහි සිරස්තලයේ ඇති වැදගත්කම සලකා බලන විට, ලිංගික අපරාධයක් හෝ ලිංගික අපයෝජනයක් සැහැල්ලු කොට දක්වන සිරස්තල යොදා ගැනීම, එවැනි අපරාධ සම්බන්ධයෙන් සැහැල්ලු ආකල්පයක් සමාජගත වීම සඳහා හේතු වීමේ අවදානමක් නොමැතිදැයි පාඨක අප එසේම ප්‍රශ්න කළ යුතු වේ.
මෙයට උදාහරණයක් ලෙස,තරුණියකට වූ ලිංගික අපයෝජන සිදුවීමක් සම්බන්ධව, දිවයින පුවත්පත වාර්තා කර තිබූ පුවතක් (සැප්තැම්බර් 17,2025) සලකා බැලිය හැක.
මෙම පුවතෙහි සිරස්තලය තුළ, මෙම ලිංගික අපයෝජනය දැක්වී තිබුණේ,
” බස් රථ තුනකදී තරුණියකට හදි කළ අනංගයා පොලිසිය අසලදීම කොටු කරගනී.” ලෙසිනි.
මෙවන් ලිංගික අපරාධයක් කළ සැකකරුවෙකු “හදි කළ අනංගයා” ලෙස වාර්තා කිරීම මඟින් මෙම අපරාධයේ බරපතළකම නිසියාකාරව සන්නිවේදනය නොවේ.
ඔබ සිතන අන්දමට,
1)යමෙකුට විපතක්, හානියක් පැමිණවීමක් ලෙසින් අරුත් ගැන්වෙන “හදි කිරීම” යන්නෙන්, ලිංගික අපයෝජනයක් නිවැරැදිව සන්නිවේදනය වන්නේද?
2)ලිංගික අපයෝජනයක් වැනි වරදක ඇති බරපතල භාවය නිසි පරිදි ඉදිරිපත් කිරීම සඳහා, එවැනි පොදු හෝ සාමාන්‍ය යෙදුම් භාවිතා නොකොට, “ලිංගික අපයෝජනයක්”, ලිංගික අපරාධයක් හෝ එවැනි ආකාරයේ යෙදුමක් වඩාත් යෝග්‍ය නොවන්නේ ද?
3) “අනංගයා” යන්නෙන් බොහෝ විට සංකේතවත් වන්නේ ශෘංගාරය නැතිනම් ප්‍රේමය නොවේද? ඒ අනුව, තරුණියට බසය තුලදී ලිංගික අතවර කිරීමට තැත් කළ සැකකරුවෙකු “අනංගයෙකුට” සමාන කිරීම, ලිංගික අතවර වරදක් සැහැල්ලු කොට දැක්වීමක් නොවන්නේ ද?


0 Comments