Uncategorized

අතින් එක්ස්-රේ ගැනීමක් ද?ලිංගික අතවරක් ද?

මාධ්‍ය වාර්තාකරණයේ මූලිකම සදාචාරාත්මක මූලධර්මය වන්නේ “හානිය අවම කිරීම” යි.

ලිංගික අපරාධයන්/අතවරයන් වාර්තා කිරීමේදී, මාධ්‍ය සැලකිලිමත් විය යුතු කරුණක් වන්නේ, එම අපරාධයන්, ඒවායේ නිසි බරපතල භාවය සන්නිවේදනය කරමින් වාර්තා කිරීමයි. මන්ද යත්, එසේ නොකොට, එවැනි අපරාධ සැහැල්ලු කොට දැක්වීම මගින් සහ අසංවේදී ලෙස වාර්තා කිරීම තුලින්, ඒවා සමාජය තුළ සාමාන්‍යකරණය කොට සලකන ආකල්පයක් ඇති වීමේ අවදානමක් ඇති හෙයිනි. එමෙන්ම, එවැනි වාර්තාකරණයන් හරහා එවැනි කම්පනකාරී සිදුවීමට මුහුණ දුන් අයට එම සිදුවීම නැවත නැවතත් සිහිපත් කිරීමට බල කිරීමක් සිදු විය හැක. මෙය නැවත කම්පනයට පත් කිරීම (re-traumatisation) ලෙස හැඳින්වෙන අතර, එය ඔවුන්ගේ මානසික සුවවීමේ ක්‍රියාවලියට දැඩි ලෙස බාධා කරයි.

නිදසුනක් ලෙසට, නාගොඩ ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින තරුණියක් එක්ස්-රේ පරීක්ෂණය සඳහා ට්‍රොලියක රඳවා සිටි අතරතුර රෝහල් සේවකයෙකු විසින් එම තරුණියට ලිංගික අතවර කිරීමේ සිදුවීම දිනමිණ සහ අරුණ පුවත්පත් වාර්තා කර ඇති අන්දම සළකා බැලිය හැක.

දිනමිණ-(2025.09.25)

*සිරස්තලය-“තරුණිය ට්‍රොලියේ තියාගෙන අතින් එක්ස් රේ ගන්න ගිය ඩෙංගු සහායක අත්අඩංගුවට”

අරුණ -(2025.09.25)

*සිරස්තලය-“ට්‍රොලියේ සිටි රෝගී තරුණියට රෝහලේදී අතවරයක්”

ලංකාදීප-2025.09.26)

*සිරස්තලය-“නාගොඩ රෝහලේ එක්ස් රේ ගන්න ගිය තරුණියගේ පපුව අතගාලා”

මෙම පුවත්පත් තුනෙහිම අන්තර්ගතයන් තුළ එම ලිංගික අතවරය සිදුකළ ආකාරය සඳහන් කර ඇත.ලංකාදීප පුවත්පතෙහි සිරස්තලය තුළ ද එය සිදුළ ආකාරය ඇතුලත්‍ ය.

ඔබ සිතන ලෙසට,

1) දිනමිණ පුවත්පතේ සඳහන් සිරස්තලයට අනුව ලිංගික අපයෝජනයක් “අතින් එක්ස්-රේ ගන්න ගිය” යනුවෙන් සඳහන් කිරීම මඟින් එම වරද අසංවේදී ආකාරයෙන් සහ සැහැල්ලු කොට වාර්තා කිරීමක් නොකරන්නේද?

2) ලිංගික අපයෝජනයන් පිළිබඳව මෙවැනි වාර්තාකරණයන් හරහා සාමාන්‍යකරණය වීමට අනුබලයක් නොවේ යයි අපට සහතික වීමට හැකිද?

3) පුවත් තුනෙහිම සිදු වී ඇති හිංසනය විස්තරාත්මක ඉදිරිපත් කිරීමෙන් එයට මුහුණ දුන් අයට කම්පනයක් ඇති නොවන්නේද?

ලිංගික අපයෝජන සංවේදීව සහ වගකීමෙන් වාර්තා කරමු! 

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This