අගතගාමී වාර්තාකරණයෙන් මිදෙමු!
මත් ද්‍රව්‍ය ජාවාරමක් පිළිබඳ ඔත්තු සැපයුවා යැයි සැකයට කාන්තාවක් ලිංගික අතවරයට ලක් කිරීමට උපදෙස් ලබා දීමේ පුවතක් දිණමින සහ අරුණ පුවත්පත් (15/10/2025) වාර්තා කර තිබින.
මෙම වාර්තාකරණයන් දෙකටම පොදු ගැටලුකාරී මෙන්ම ඒ ඒ වාර්තාකරණයන්ට ආවේනික වූ ගැටලුකාරී තැන්ද තිබිණ.
වාර්තාකරණයන් දෙකටම පොදු ගැටලු:
1. ලිංගික අපරාධය වෙනුවට දූෂණය
2. ජාවාරම්කරු වෙනුවට ජාවාරමා
ලිංගික අපරාධය සඳහා “දූෂණය” යන යෙදුම භාවිතා කිරීමෙන් එම අපරාධයට ලක්වූ අය අපවිත්‍ර වී ඇති බවට හැඟීමක් ජනිත කරවයි.
සැකකරුවෙකු “ජාවාරමා” ලෙස හැඳින්වීම ගැටලුකාරී වන්නේ, මෙය ක්‍රියාව විස්තර කරනවා වෙනුවට, පුද්ගලයාගේ චරිතය පාදක කරගනිමින් පූර්ව විනිශ්චයක් ලබාදීම සිදු කරන බැවිනි. මෙමඟින් කියවන්නාගේ සිතේ අගතිගාමී චිත්‍රයක් මවා ස්වාධීනව සිතීම වැලැක්විය හැක.
මීට අමතරව මෙම වාර්තාකරණයන් දෙකටම ආවේනික වූ ගැටලු:
1. අත් අඩංගු වෙනුවට “මාට්ටු”.
2. මත්ද්‍රව්‍යට ඇබ්බැහිවූවෙකු යන්න වෙනුවට “මත් ලෝලියා”
“මාට්ටු” යන්නෙන් ප්‍රවෘත්තියකට අනවශ්‍ය නාටකීය බවක් එකතු වීමක් විය හැකි අතර ඔවුන් දැනටමත් වරදකරුවන් ලෙස සිතීමට පෙළඹවීමක් ඇති විය හැක.
“මාට්ටු” වෙනුවට භාවිතා කළ හැකි වඩාත් නිවැරදි, මධ්‍යස්ථ විකල්ප වන්නේ:
“අත්අඩංගුවට ගෙන ඇත”, “පොලිස් භාරයට ගෙන ඇත”, “සැකපිට අත්අඩංගුවට ගෙන ඇත”.
මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම යනු සංකීර්ණ කරුණු සමුදායක් හේතු කරගෙන සිදුවන, සුව කළ හැකි තත්ත්වයක් මිස, හුදු මත් ද්‍රව්‍ය සඳහා ලොල් වීමක් නොවේ.
වගකීම් සහගත වාර්තාකරණයක නියැලෙමු!


0 Comments