මේ ඔබේ සහෝදරිය, මව හෝ දියණිය නම් ඔබ තෝරාගන්නේ මේ අතරින් කුමන සිරස්තලය ද?
මහනුවර පිහිටි වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ප්‍රතිකාර සඳහා පැමිණි තරුණියකට සිදුවූ අතවර කිරීමක් පිළිබඳව 2025.11.14 වන දින අරුණ සහ ලංකාදීප වාර්තා කර තිබිණු ආකාරය පහත දැක්වේ.
එම සිදුවීම අරුණ පුවත්පතේ පළ කර ඇති ආකාරයේ ගැටලුකාරී ස්ථාන කිහිපයක් දක්නට තිබිණ.
1. ලිංගික අතවරය “ඇඟේ ලප සෙවීමක්” ලෙස හැඳිනීම:
මාධ්‍ය වාර්තාකරණයේ මූලිකම සදාචාරාත්මක මූලධර්මය වන්නේ “හානිය අවම කිරීම” යි.
ලිංගික අපරාධ/අතවර වාර්තා කිරීමේදී, මාධ්‍ය සැලකිලිමත් විය යුතු කරුණක් වන්නේ, එම අපරාධයන් ඒවායේ නිසි බරපතල භාවය සන්නිවේදනය කරමින් වාර්තා කිරීමයි. මන්ද යත්, එසේ නොකොට, එවැනි අපරාධ සැහැල්ලු කොට දැක්වීම මඟින් සහ අසංවේදී ලෙස වාර්තා කිරීම තුළින්, ඒවා සමාජය තුළ සාමාන්‍යකරණය කොට සලකන ආකල්පයක් ඇති වීමේ අවදානමක් ඇති හෙයිනි. එමෙන්ම, එවැනි වාර්තාකරණයන් හරහා, එවැනි කම්පනකාරී සිදුවීමට මුහුණ දුන් අයට එම සිදුවීම නැවත නැවතත් සිහිපත් කිරීමට බල කිරීමක් සිදු විය හැක. මෙය නැවත කම්පනයට පත් කිරීම (re-traumatisation) ලෙස හැඳින්වෙන අතර, එය ඔවුන්ගේ මානසික සුවවීමේ ක්‍රියාවලියට දැඩි ලෙස බාධා කරයි.
2. ගැටලුකාරී කාටූනයක් භාවිතා කිරීම
මෙවැනි කාටූනයක් භාවිතා කිරීම මඟින්, මෙවැනි බරපතල සිදුවීමක් භාවාතිශයකරණය (sensationalised) කරනු ලබන අතර, සිදුවීමේ බරපතලකම අඩු කර, එය විනෝදාස්වාදයට ලක් කරනවාක් වැනි හැඟීමක් ඇති කරයි. මෙම කාටූනය සහ සැහැල්ලු සිරස්තලය යන දෙකම සිද්ධියට මුහුණ දුන් තරුණියගේ පෞද්ගලිකත්වයට හා මානසික සුවයට දැඩි ලෙස බලපෑම් ඇති කළ හැකි කරුණු වේ.
මේ අනුව,
ලිංගික අතවරයක් “ඇඟේ ලප සෙවීමක්” ලෙස සඳහන් කිරීම සහ මෙවන් කාටූනයක් භාවිතා කිරීම මඟින් එම වරද අසංවේදී ආකාරයෙන් සහ සැහැල්ලු කොට වාර්තා කිරීමක් නොකරන්නේද?
ලිංගික අතවරයන් පිළිබඳව මෙවැනි වාර්තාකරණයන් හරහා සාමාන්‍යකරණය වීමට අනුබලයක් නොවේ යයි අපට සහතික වීමට හැකිද?
මෙවැනි සංවේදී සිදුවීම් වාර්තා කිරීම සඳහා භාවාතිශයකරණය කළ සිරස්තලයක් වෙනුවට, ලංකාදීප පුවත්පතේ සිරස්තලයේ සඳහන් පරිදි “අතවරයක්” යනුවෙන් සෘජුව සඳහන් කිරීම වඩාත් සුදුසු නොවේද?
ලිංගික අතවර සංවේදීව සහ වගකීමෙන් වාර්තා කරමු!


0 Comments