“රූමත්/සුරූපි” බව පුවතට අදාළ ද? අවශ්‍ය ද?
*2025.11.10: කොටහේන ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් පුද්ගලයන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමේ පුවතක්.
*2025.11.11: එම වෙඩි තැබීමට අත්අඩංගුවට පත් වූ අය පිළිබඳ තවත් පුවතක්.
*2025.11.12 සහ 2025.11.13: සමාජ මාධ්‍යයේ කාන්තාවන්ගේ ඡායාරූප අනවසරයෙන් භාවිතා කරමින්, ෆේස්බුක් පිටු සකසා ඒවා මුදලට අලෙවි කිරීමක් පිළිබඳ පුවතක්.
ලංකාදීප සහ දිනමිණ පුවත්පත් දෙකෙහි වාර්තා වූ මෙම පුවත් හතරෙහිම එක් පොදු ගැටලුවක් නිරීක්ෂණය විය. එනම්, මෙම පුවත් හතරෙහි අදාළ කාන්තාවන් හඳුනාගැනීමට ඔවුන්ගේ බාහිර ස්වරූපය මත පදනම් වූ “රූමත්” හෝ “සුරූපී” යන්න භාවිත කර තිබීමයි.
මාධ්‍ය වාර්තාකරණයේදී “රූමත්”, “සුරූපී” යන්න භාවිතා කිරීමේ ඇති ගැටලුව කුමක්ද?
*මෙම ක්‍රියාව මගින්, කාන්තාවන් විනිශ්චය කළ යුත්තේ ඔවුන්ගේ බාහිර පෙනුම මත බවට වන සමාජීය අගතිය තවදුරටත් තහවුරු කරයි.
*පුවත් වාර්තාකරණයේ අරමුණ සඳහා කාන්තාවකගේ ශාරීරික පෙනුම සෘජු හා අත්‍යවශ්‍ය කරුණක් නොවේ නම් (උදාහරණයක් ලෙස, රූ රැජිනක් පිළිබඳ වාර්තාවක් නොවේ නම්), එවැනි විස්තර භාවිතයේ අදාළත්වය සහ අවශ්‍යතාව පිළිබඳව බරපතල ගැටලු පැන නගී. මෙහිදී, ප්‍රවෘත්තියේ හරයාත්මක වටිනාකම රඳා පවතින්නේ අත්අඩංගුවට පත් පුද්ගලයින්ගේ ශාරීරික පෙනුම මත නොව, එයට අදාළ සමාජ-නීතිමය ගැටලු මත බව අවධාරණය කළ යුතුය.
“රූමත්/සුරූපි” යන්න යෙදූ සැනින්, පාඨක අවධානය පුවතේ ගැඹුරු කරුණු වලින් බැහැර වී, ඒ වෙනුවට එය හුදෙක් නාට්‍යානුසාරයෙන් ඉදිරිපත් කරන තොරතුරක් බවට පත් විය හැක. තවද, මෙවැනි ආකාරයේ වාර්තාකරණයන් මඟින් පුවතේ අන්තර්ගත සිදුවීමට අනවශ්‍ය වර්ණ ගැන්වීමක් එක් කරයි.
වගකීම් සහගත වාර්තාකරණයක නියැලෙමු!


0 Comments