සෑම විටම පුද්ගල-ප්‍රථම භාෂාවක් භාවිතා කරමු!
2026.01.11 දින ‘දිවයින’ පුවත්පතේ පළ වූ විශේෂ සම්මුඛ සාකච්ඡාව
විෂය: දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට ලක් වූ ආබාධ සහිත ප්‍රජාව යළි නඟා සිටුවීමේ ක්‍රියාවලිය. සම්මුඛ සාකච්ඡාවට සහභාගී වූවන්: ආබාධිත ප්‍රජාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා.
දිට්වා සුළි කුණාටුවෙන් පසු ආපදා කළමනාකරණය පිළිබඳ කතිකාවන් කරළියට පැමිණ ඇති මෙවන් මොහොතක, ආබාධ සහිත ප්‍රජාවගේ ගැටලු සාකච්ඡා කිරීම අතිශය කාලීන මෙන්ම අදාළ පියවරකි. විශේෂයෙන්ම ආබාධ සහිත ප්‍රජාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා සමඟ මෙවන් සංවාදයක් ගොඩනැගීම සමාජ අවශ්‍යතාවයක් වුවද, එහි පාරිභාෂික ශබ්ද භාවිතය වඩාත් නිවැරදි හා ප්‍රමිතිගත වූවා නම් මෙම මැදිහත්වීම මීට වඩා අර්ථවත් වීමට ඉඩ තිබුණි.
“පුද්ගල-ප්‍රථම භාෂාව” (Person-First Language)
මෙහි මූලික තර්කය වන්නේ පුද්ගලයෙකු හැඳින්වීමේදී ඔහුගේ ආබාධයට වඩා ඔහුගේ මනුෂ්‍යත්වය පෙරට (Person First) ගෙන ඒමයි. පුද්ගලයෙකු “ආබාධිතයෙකු” ලෙස ලේබල් කරනවා වෙනුවට, ඔහු “ආබාධයක් සහිත පුද්ගලයෙකු” ලෙස හැඳින්වීමෙන් අදහස් වන්නේ ආබාධය යනු එම පුද්ගලයාගේ අනන්‍යතාවයෙන් කොටසක් මිස, එම පුද්ගලයා කවුද යන්න තීරණය කරන එකම සාධකය නොවන බවයි.
මෙම ලිපියෙහි “ආබාධිත” වෙනුවට “ආබාධ සහිත” යන යෙදුම දැනුවත්ව භාවිත කළේ නම්, එම ප්‍රජාවට ගරුත්වය සහ සමාන අයිතිවාසිකම් ලබා දෙන වඩාත් සදාචාරාත්මක වාර්තාකරණයක් බවට පත්වනු ඇත. භාෂාවේ ඇති මෙම සියුම් වෙනස, ආබාධ සහිත පුද්ගලයන් කෙරෙහි සමාජය දක්වන ආකල්ප ධනාත්මක ලෙස වෙනස් කිරීමට ප්‍රබල පිටුවහලක් වේ.
ආබාධ සහිත පුද්ගලයින් හැඳින්වීමට සෑමවිටම පුද්ගල-ප්‍රථම භාෂාවක් භාවිතා කරමු!


0 Comments